Wednesday 9 January 2013

සිංහලකම හඳුණා ගනිමු


මා මේ පිටුව තුලින් සිංහලකම හඳුනා ගන්නේ කෙසේදැයි බලමි. සිංහල යයි තමන් හඳුන්වාගන්නා අය බොහෝය. ඔවුන් අතර පරතරය ගත හොත් එතුල සියලු ජාතීන්ට ආවේණික වූ අය සිටින බව පෙනේ. එසේ නම් ඔවුන් සැම සිංහලද? සැබෑව එය නොවේ. අද ඉංග්‍රීසීන් ලොව බලවතුන් වී සිටින මොහොතේ, උන්ගෙ සරණ යන, ඉංග්‍රීසිකම වැළඳ ගන්නා විවිධ ජාතීන්ට අයත් ජනයන් බොහෝය. ඒ තම අවශ්‍යතාවයන් සපුරා ගෙන රැකීමටය. එහෙත් ඒ සමඟින් තම දරුවන් ඉංග්‍රීසි බස උපතින් කතා කරමින්, ඉංග්‍රීසිකම තුල වැඩෙන විට ඔවුන් ඉංග්‍රීසි ජාතිකයන් නොවුනද වෙන ජාතියකට හිමිකම් නොකියන කොටසක් වේ. මෙහිදී තම අනන්‍යතාවය සුරකින ඉංග්‍රීසීන්, තම ජාතිය ප්‍රධාන කොට නාමික ජාතියක් බිහි කර, මේ යටත්වැසි ජනකොටස් ද තම අණසකට යටත් කර ගන්න නිසා, ඉංග්‍රීසිකම තුල වැඩෙන අනෙක් ජාතිකයන් ඉංග්‍රීසින් ලෙස පෙනී සිටීම වළකයි. ඒ ඉංග්‍රීසිකම විවිධ ජාතීන්ට පොදු දෙයක් නොවන නිසයි. එසේ නම් සිංහලකම තුල, විවිධ ජාතීන් තම අනන්‍යතාවය ලෙස සිංහල හුවා දැක්වීමට හේතු විමසිය යුතුය.

අද ඉංග්‍රීසින් මෙන් එක්තරා යුගයක සිංහලුන්ද ප්‍රබල ජාතියක්ව සිට බවට සිංහලකම තුල සාක්ෂි එමටය. එකල සිංහලයකු වීම අගය කල බව පෙනේ. සිංහලයන් කෙතරම් ප්‍රබලද යන්න ඔවුන් සිංහල සරණ පැතූ උන් ගැන තඹ සතයකට මායිම් නොකල බව, අද වන විට සිංහලයන් පත් වී ඇති තත්වය සාක්ෂි දරයි. එක් අතකින් සිංහලකම සියලු මිනිසුන්ට උරුම වූවක් ද විය හැක. කෙසේ වෙතත් සිංහලකම අදත් නොනැසී පැවතීමට නම් යම් ආකාරයක අධීක්ෂණයක් තිබිය යුතුය.

සිංහලකම රැකෙන ආකාරය මා අත් දැකීමෙන් මනාව හඳුනමි. එය රැකෙන විදිය මිනිස් පාලනයට ඉහළින් ක්‍රියාත්මකය. එය නාමික බෙදීමකට වඩා පුද්ගල හැසිරීම මත ක්‍රියාත්මක වන, ඉතා ප්‍රබල ක්‍රියාවලියකි. සිංහලකමට අභියෝග වන ලෙස හැසිරීම, උන් හිටි තැන් නැතිවී, ජීවිතයෙන් වන්ඳි ගෙවන, තම අනාගත උරුමය අහෝසි කරන විනාශයකට මුල පුරයි. මම සිංහලකමට අභියෝග කර එයට ආවේනික ප්‍රතික්‍රියා අත්විඳ, නැවත නැවත අත්හදා බැලීමට දායක වූ තොරතුරු හෙළි නොකලද, එම සිංහලකම රකින සියලු උපක්‍රම අදද සක්‍රීය බව අත්හදා බලා සහතිකව දනිමි. එම ක්‍රියාවළිය ජීවමාන බවද දනිමි.

සිංහලකම තුල ඇති ජීවමාන ආරක්ෂණ උපක්‍රම නිසා සිංහලකම මනාව අවබෝධ කරගැනීම තම යහපතට හේතු වේ. සිංහලකම යනු මිනිසකු ලෙස ජීවත් වීමටත්, තම පැවැත්ම තහවුරු කිරීමටත්,  සිංහලයකු ලෙස හැසිරෙන ආකාරය ගොනු කිරීමකි.

සිංහලයකු ජීවත්වීමට කරන කියන දෑ, අනෙක් අය සමඟ පවත්වන සබඳතා, කන බොන ආකාරය, ඇඳුම් පැළඳුම්, ආවාහ විවාහ, නෑ සබඳතා, අදහස් හුවමාරු කරන විදිය, සිංහල භාෂාව සැකසී ඇති ආකාරය, සිංහලයන් පරිසරයට බැඳෙන අයුරු, ගැටළු හා අර්බුද නිරාකරණය කරන අයුරු,  තම ජීවිත අපේක්ෂාවන් යන කී නොකී දහසකුත් එකක් තොරතුරු සිංහලකම අරුත් දක්වන සුවිශේෂ අංඟයන්ය. අද සිංහලකමට අමතරව ඇති සිංහලකම හා නොගැටී පවතින ආකම් බොහෝ ඇති නිසා බොහෝ අය ඒවාද සිංහලකම ලෙස හුවා දැක්වීම සිංහලකම ගැන නොදැන කියන හිතළු වේ.

සිංහලකම තුල රජ කරන කැමැත්තට ඉඩදීම, කැමැත්ත මත තීරණ ගැනීම වැනි ඉතාමත් අස්වාභාවික ගුණය කෙසේ සිංහලයන්ට උරුම වී දැයි සිතිය යුතුය. එය කිසිදු ආකාරයකින් තිරිසන්කමට අයත් වන ගතියක් නොවේ. එසේ නම් කෙසේ එය සිංහලකමට බැඳුනේද? මෙම විශේෂ සිංහලකමේ උත්තරීතර නිර්මාණය වන්නේ මහසම්මත මනු පාලනයයි. තිරිසන්කම තුල, ශක්තියත්, කෲර බවත් තෝරන නායක කම,  කැමැත්ත මත තේරීමට තරම් වෙනස් වීම සිංහල මනසේ ප්‍රබලකම හෙළි කරයි. අද එම මහසම්මත ක්‍රියාවලිය කැමැත්තෙන් අනායකයකු තෝරාගැනීමට ඉංග්‍රීසීන් යොදා ගෙන ඇත. නුදුරු කල, සිංහලකමේ ශ්‍රේෂ්ඨ අංඟයක් වන "කැමැත්ත අනුව පැවැත්ම" නව අදිරයකට යන විට, තිරිසන්කමේ ඉතිරියක් වන නායකත්වය ද අනවශ්‍ය වන බව දකින මම, මේ මහසම්මත පාලන ක්‍රමය කෙතරම් මිනිස් පැවැත්ම වෙනස් කලේද යන්න, ඒ බලපෑමෙන් සැඟවී සිට, අද එළිබැස ඇති මුස්ලිම් සමාජයේ හැසිරීම් රටාව සමඟ සැසඳූ විට පැහැදිලි වේ....

සිංහලකම තුල ඇති තවත් වැදගත් අංඟයක් වන කෑම බීම ඉබේ බිහි වූවක් නොව, තිරිසන්කම හැර දමා මිනිස්කමට තල්ලු කල මහ මඟක් වැනිය. තිරිසන් ලොව කළාතුරකින් රස විඳි අඟනා දෑ රිසි ලෙස පරිහරණය කිරීමට සැකසීම වසඟයෙන් සතෙකුගේ කැළෑ ගතිය ඉවත් කිරීමක් වැනිය. උදාහරණ ලෙස මී පැණි වැනි කිතුල් පැණියක් ලැබීම ඉබේ වූවක් නොවේ. සිංහලයන් නොදැනුවත්වම යොදන සැකසීමේ උපක්‍රම ජීවත් වීමටත් පැවැත්ම රැකීමටත් ඉවහල් වන බව උන් නොදැනම කරන බව පෙනේ. කරන දෑ, එසේ කිරීමට හේතු නොදැනම කිරීමද, විමතිය දනවයි.

සිංහලයන් සතු ගොවිතැන් කිරීමේ විශේෂ දැනුම නොවන්නට අද වන විට සිංහලයන් ද දැනට වඳ වී ගිය ශිෂ්ඨාචාරයක් විය යුතුය. බොහෝ අය නැසි ගිය හේතු සිංහලයන් මග හැර ඇති ආකාරය කෙසේ සිංහලයන් සතු වීද? අද වන විට තමන් කරන දේ එසේ කරන්නේ ඇයි දැයි කීමට හැකියාව නැත. බාහිර බලපෑම් නිසා වල් වැදුන අදාළ දැනුම රැකීමට නිරන්තරයෙන් උත්සාහ ගැනීමද සිදුවේ. මෙම ගොවි උපක්‍රම නොවන්නට, කුසගින්න නිසාම මිනිසා වඳ වූ සත්ව විශේෂයක් වීමට ඇති සාධක බොහෝය.

තවත් අඟනා සිංහලකමේ අනන්‍යතාවය පෙන්වන අංඟයක් වන්නේ ඔවුන් සතු, ශාරීරික හා මානසික ලෙඩරෝග සුව කරන ආයු වැඩිකරන විදියයි. ඒ වටා ඇති දැනුමද බිහි වූ කාරය විමතිය දනවයි. මානසික රෝග සුවකිරීමට ඇති ක්‍රම සුවිශේෂ වන අතර,  ඒවා කෙසේ ලෙඩ සුවකරනවා දැයි කරන්නන් පවා නොදන්න බවක් පෙනේ. ඒ ගැන බොහෝ කිව යුතු නිසා පහසුවට තබමි.

සිංහලකමේ ප්‍රබල අංඟයක් වන කුල ක්‍රමයද විශේෂ තැනක් ගනී. අද ඇති ක්‍රමය මහසම්මත මනුගේ දරුවන් දස දෙනාට දැනුම බෙදා රැක ගැනීමට කණ්ඩායම් සැකසීමෙන් බිහිවිය. සීමිත මිනිස් හැකියාවන් තුල, අසීමිත දැනුම් සම්භාරයක් ගබඩා කිරීමට නම්, සීමාවන්ට යටත් ව දැනුම බෙදිය යුතුය. එම දැනුම අදත් ඇත්තේ තම වගකීම පැවැත්මේ කොටසක් වූ නිසාය. මෙහි ඇති වැදගත් කම, කුල සියල්ලම මිනිසා ජීවත් කරවීමට දායක වීමය. යම් ආකාරයක ශ්‍රේණිගත වීමක් ඇත්තේද තමන් කෙතරම් ජීවත් වීමට දායක වනවාද යන කරුණ මතය. හින්දු හා දෙමළ කුල ක්‍රම, බලය යොදා බෙදූ, එකෙක් අනෙකාට මෙහෙ කරන අසමාන සමාජයක් බිහි කලද, එවැනි තදබල බාහිර තෙරපුම් නොමැතිව සිංහලකමේ ප්‍රබල අංඟයක් වන කුල ක්‍රමය රැකී ඇත. මෑතකදී දෙමළ හා හින්දු සංක්‍රමණිකයන් පාරම්පරික වෘත්තීන් උදුරා ගැනීමත්, දඬුවමට ලක්වූවන්ට පාරම්පරිකව කරන රැකියා දීමත් නිසා අවුල් වුවද, හැම කුලයකම සිටින සිංහලයන් අභිමානයෙන් තම වෘත්තියේ යෙදීම, සම්මතයෙන් හා සිය කැමැත්තෙන් ඇරඹූ බවට සාක්ෂි දරයි. දරුවන් පොරකෑම නවතා, තම හැකියාවන්ට සරිලන කාර්යයක නිරත වීම, ජීවත්වීමටත් පැවැත්ම රැකීමටත් කෙතරම් දායක වී ඇති දැයි සාක්ෂි එමටය. කලින් කල සිංහලකම ඉදිරියට යන නිසා, නුදුරු කල, ජීවත්වීම හා පැවැත්ම රැකීම සමඟම සහෝදරකමේ සමානතාවය එළිදකින නව දැනුම සමාජ සැකසුම දියුණු කිරීමට ඉවහල් වන බව මට විශ්වාසය.

සිංහලකම තුල ඇති තවත් විශේෂයක් වන්නේ පැවැත්ම රැකීමට අත්‍යාවශ්‍ය වන විවාහ ක්‍රමය හා ජීවත්වීමේ මග කියන ජීවිත විදියයි. පිරිමියෙකුත් ගැහැණියකුත් එකතු වී දරුවකු බිහිකිරීම පැවැත්මට හේතු වේ. දෙදෙනා මත ලැබෙන දරුවාගේ ස්වභාවය බොහෝ දුරට තීරණය වන නිසා, සුවිශේෂ ගැලපීම් විදියක් බිහි වී ඇත. එහෙත් සම්මතයට අනුව කැමැත්තට මුල් තැන දීම සමාජමය ලක්ෂණයකි. හැම විටම දූ දරුවන්ගේ යහපතට කැපවීමද සිදුවන ආකාරය විමතිය දනවයි.

සිංහලකම ගැන ඉතා සුළුවෙන් ලිව්වේ සම්පූර්ණ තොරතුරු ලිවීමට අනාදිමත් කාලයක් ගතවන බව දැන දැනය. මෙහිදී වඩා වැදගත් වන්නේ කරන කියන දැ නොව ඒවාට පසුබිම සැකසුන ආකාරය දැනගැනීමයි. මෙම සිංහලකමට දායක වූ දැනුම කෙසේ කවදා හිමි වුනා දැයි විමසිය යුතුය. එම දැනුම කෙතරම් ප්‍රබල දැයි කියනවා නම්, සිංහලකම ගොඩනැගීමට යොදා ගත් දැනුම සඳහා ජීවිතය යනු කුමක්ද, කෙසේ කවදා බිහිවීද, කෙසේ වෙනස් කල හැකිද යන බව සපුරා දත යුතුමය. මිනිසුන් කී දෙනෙක් මේ ගැන දනීද?

තිරිසන්කම තුල හිර වූ මිනිසා තමන් විසින්ම මේ මගට ආවේ නම් අනෙක් තිරිසනුන්ද ඒ මග ආ යුතුය. ප්‍රශ්ණයකට ඇත්තේ තිරිසනුන් තබා සිංහලකමෙන් යැපෙන මිනිසුන්ද මේ ගැන කිසිත් නොදැනීමයි. කරත්තය අදින ගවයා, සුපුරුදු ලෙස බර ඇද්ද ද, තමන් එසේ කරන්නේ තමන්ගේම වුවමනාවට නොවුවද, වෙන්නේ කුමක්දැයි නොදැන කරන්නා සේ, සිංහලයන්ද තමන් අත්විඳින ජීවන රටාව කරගෙන ගියද එය එසේ වීමට හේතු කාරණා නොදන්න බව පෙනේ. එසේ නම් මිනිසාගේ මග පෙන්වීමට යටත් වූ ගවයා මිනිසාට ඇවැසි දෑ කර තම යැපීම කරන්නා සේ, වෙන යම් කෙනෙක් සිංහලයන් එතැනට දමා, තම ඇවැසි දෑ කරන්නේද යන්න විමසීම වැදගත්ය. විශේෂයෙන්ම සිංහලකම අතහැර තිරිසනකු වීම ඉතා දුෂ්කර දෙයක් නිසා, පසුබිම හැදැරීම වැදගත් ය. ඒ ගැනද සිංහලයන් සතු දැනුම යම් ඉඟියක් දෙන බව කියමින් මෙම පිටුව අවසන් කරමි.


(මෙම බ්ලොගය මට මෙන්ම සිංහලයන්ට වැදගත් වූ පර්යේෂණ දත්ත සීමිත ලෙස අන්තර්ජාලයට මුදා හැරීමකි. මගේ උත්සාහය හැකි පමණින් තොරතුරු බිඳක් දී සිංහලයන් හඳුනා ගැනීමය. දැනුම කෙතරම් ප්‍රබල දැයි කියනවා නම් බොහෝ තොරතුරු වාරණය කිරීමට සිදු වේ. යමෙක් එකතු කිරීමක් හෝ ප්‍රශ්ණ නැගීමක් කෙරේ නම් අගයමි. ඒ මා කියන දෑ හුදු විශ්වාස නොව දත්ත මත ලියූවක් නිසාය.)

No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.